මාර/නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ හක්මණ නගරයට කිලෝමීටර් තුනහමාරක් පමණ ඈතින් පිහිටි නරවැල්පිට දකුණ ගම් ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙම විද්‍යාලය මුලින් ම පිහිටවන ලද්දේ මෙතෝදිස්ත සභාව මගිනි. ගමේ සිටින වැඩිහිටියන්ගෙන් ලද තොරතුරු අනුව මෙම පාසල ආරම්භ කර ඇත්තේ ක්‍රි.වර්ෂ 1896 දී ය. මොහු නමින් හේවා අලංකාරගේ අදිරියන් ය. අදිරියන් අවුරුදු 06 දී මෙම පාසලට ඇතුලත්ව ඇත.
මෙම විද්‍යාලයේ මුලින් ම අධ්‍යාපනය දෙනු ලැබූ ගුරුභවතා වී ඇත්තේ වැලිගම ප්‍රදේශයේ උපන් ආරුකට්ට පටබැඳිගේ අරනෝරිස් සිල්වා මහතා ය. මොහුත් නැගණියත් ගුරුවරුන් ලෙස උගන්වා ඇත. මෙම කාලයේ ළමුන් 40 ක් පමණ ඉගෙන ගෙන ඇති අතර ශාලාවක් ලෙස තිබුණේ කුඩා පොල්අතු ගොඩනැගිල්ලකි.
1909 වර්ෂයේ දී පමණ මෙම විද්‍යාලය බොදු විදුහලක් බවට පත් කොට ඇති අතර එවිට ළමුන් 150 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබා ඇත. මෙම කාලවකවානුවේ දී මෙතොදිස්ත විද්‍යාලයක් තිබී ඇති අතර එය නරවැල්පිට විද්‍යාලයට පසුව පිහිටවන ලද්දක් බව කියැවේ.
මෙම විද්‍යාලය බොදු පාසලක් කිරීමට බොහෝ උත්සාහ ගෙන ඇත්තේ කෝංගල දොන් අදිරියන් වික්‍රමසිංහ රාළහාමිය. එහි ප්‍රතිඵලයක් ලෙස නරවැල්පිට හා කෝංගල පාසල් දෙකම බොදු විදුහල් බවට පත් කර ඇත.
නරවැල්පිට විද්‍යාලය බොදු විදුහලක් වූ පසුව පාසලේ උගන්වනු ලැබුයේ අතුරලියේ ගුරු මහත්මයෙකි. මෙතුමා අනගාරික තත්ත්වයේ සිටියෙක් බව සැලය. අතුරලියේ ගුරුතුමා ආණ්ඩුවෙන් පත් කළ පසු වැලිගම ගුරුතුමා මාරුවක් ලැබ ගොස් ඇත.
මෙම විද්‍යාලය බොදු පාසලක් බවට පත් කරන විට මේ සදහා අත්සන් කර ඇත්තේ බෙරුවෙල වත්තේ හීන්මුත්තා (මහගලවත්තේ ගමගේ ජේමිස් මහතාගේ පියා) හා කෝන්කැටියේ උයන්ගොඩගේ මෙන්දිරිස් යන මහත්වරුන් ය.
මෙම පාඨශාලාව පිහිටි භූමිය මුලින් ම අයිතිව තිබුණේ හක්මණ බටුපැල කන්දේ රණසිංහගෙදර ඉස්කෝලෙ හාමිනේට හා තංගල්ලේ මාරකොල්ලියේ කුක් මහත්මාට බවත් මොහු ලංසි මහත්මයෙක් බවත් මෙහි දක්වා ඇත. මෙම පාසල බොදු විදුහල් බවට පත් වූවාට පසුවත් ඉඩමේ අයිතිය පැවරී තිබුණේ ඉහත නම් සදහන් අයටමයි. එවිට අක්කරයක් පමණ ඉඩම තිබූ අතර පසුව අක්කර 07 ක් දක්වා වැඩි කර ඇත. කටුඉඹුලේ ආවාසය හා ගාල්ලේ පොල්දූවේ පන්සලේ ද ළමයි ඉගෙන ගෙන ඇත. පන්සලේ ඉගෙනුම ලැබූ ළමයි පාසලට ගෙන ඇත්තේ ඉතා අමාරුවෙනි. එනම් ඒ ළමයින්ගේ දෙමාපියන්ට නඩු දමා නීති මාර්ගයෙනි. මේ ආකාරයට පාසලට නොඑන ළමයින් ට රු 2.50 ක දඩ මුදලක් ගම් සභාව මගින් අය කර ගෙන ඇත. එච්.ඒ.අදිරියන් ද එසේ දඩ මුදල් ගෙවූ අයෙකි. ගල්කැටදෙනියේ වෙද මුත්තා ,වත්තෙකන්දේ විදානේ මහත්තයා , ගල්ඇන්ද ලඟ නිකලස් මුත්තා එසේ එකල ඉගෙන ගත් අයයි.
දැනට විදුහලේ රෝපිත බෝගස ද අතුරලියේ මහත්මයා දඹදිවින් ගෙනවුත් රෝපණය කොට ඇති බව ප්‍රකාශ වේ. එබැවින් මෙම භූමිය ශුද්ධ භූමියක් ලෙස සැලකිය හැකිය. අතුරලියේ මහත්මාගේ පුතකු ද මෙම යුගයේ උගන්වා ඇති බවට සාධක තිබේ. මොහු මොනිටර් කෙනෙකි. පාඩම් පොත ලෝවැඩ සඟරාව , ගැටපද චක්‍රය නම් පොත් ආදිය උගන්වා ඇත.
සතපහේ පිහාටුවලින් පොත්වල ලියනු ලැබූ මෙම යුගයේ උකුසු පිහාටු , බකුසු පිහාටු ලිවීම සදහා යොදා ගත් අතර ඒවා පාසලේ ම තබා තිබිණ. පන්සල්වල දී ලිව්වේ වැලි පිලේ ය. මෙකල 08 වන ශ්‍රේණිය දක්වා පන්ති තිබූ අතර පාසලින් දුන් ඉහල සමත් සහතිකය 8 ශ්‍රේණි සමත් සහතිකය විය. එකල ළමුන් ට මෙන් ම සුනඛයින්ට ද බෙහෙත් දුන්නේ පාසලෙනි.
මෙම විදුහලේ මොනිටර්වරයෙකු ලෙස බද්දුවෙල වත්තේ මහත්මයා උගන්වා ඇත. වනුමැලේ වත්තේ රාළහාමි මුත්තා විසින් අවුරුද්දකට වරක් ළමයින් සඳහා බත් සපයා ඇත.
1938 දී මෙම විද්‍යාලය ගැහැණු විද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අතර මෙම විදුහලේ පිරිමි ළමයින් නරවැල්පිට උතුර විද්‍යාලයට ඇතුළත් කරනු ලැබීය. නැවත අවුරුදු 03 කට පසුව මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදි. එවිට විවිධ පළාත්වලින් පැමිණි ගුරුවරුන් 50 කට අධික සංඛ්‍යාවකට නතුව පැවතුන අතර 1968 දී මහා විද්‍යාලයක තත්ත්වයට උසස් කරනු ලැබීය. මෙකල සීමන් නැමැති ගුරුතුමා ඉතාමත් ඉහළ සේවයක් කල අයකු බව පැවසේ. ඉන් අනතුරුව දියුණුවේ මං කරා ගමන් ගත් මෙම විද්‍යාල මාතාව ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් ම ගොඩනැගිලි සංඛ්‍යාවෙන් ද වර්ධනය වන්නට විය.
1968 දී මුල් ගුරුවරයා ලෙස ගුණතිලක මහතා පත් වූ අතර ක්‍රමවත් වූ පාලනයකට පසුබිම් වැටුනි. අනුතුරුව බී.සේනානායක මහතා වශයෙන් සේවය කල අතර 1974.01.15 දිනෙන් පසුව ඒ.එම්.ගමගේ මහතා විදුහල්පති වශයෙන් විද්‍යාලය අධ්‍යාපනය හා අන් සෑම අංශයකම අභිවෘද්ධිය උදෙසා විශාල සේවයක් කරනු ලැබී ය.
දස අවුරුදු සේවයකින් පසු ඒ.එම්.ගමගේ විදුහල්පතිතුමා මෙම විද්‍යාලයෙන් 1984.03.05 දින මාරුවී ගිය අතර මෙම ඓතිහාසික පසුබිම උපුටා ගන්නා පොත ලියා ඇති ජිනදාස ගමගේ මහතා විද්‍යාලයේ විදුහල්පති ධූරය බාරගන්නා ලදි. ඉන් පසුව ද ක්‍රම ක්‍රමයෙන් පාසල දියුණුවට පත් වූ අතර එම්.ඩී.ගුණසේන මහතා ද ඩී.එච්.කේ.සමරසිංහ මහතා ද විදුහල්පති ධූරයේ හොබවීය. ඉන් පසුව කේ.බී.කේ.චන්ද්‍රා පත්මිණී මහත්මිය විදුහල්පති ධූරය හොබවන ලද අතර 2015 මැයි සිට ආර්.පී.විමලසේන මහතා 2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා සේවයේ යෙදී සිටි අතර ඉන්පසු විදුහල්පති ධූරය කේ.බී.කේ.චන්ද්‍රා පත්මිණී මහත්මිය විසින් දරනු ලැබීය. 2018.02.16 දින සිට යූ.ජී.එන්.උයන්ගොඩ මහතා විදුහල්පති ධූරයේ සේවය කළ අතර ස්ථාන මාරුවීමත් සමග මේ වන විට එම්.ඒ.උපනන්ද මහතා විදුහල්පති ධූරය හොබවයි.
|
ආරම්භ කළ වර්ෂය |
1896 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
මුල් ගුරුතුමාගේ නම |
ආරුකට්ට පටබැඳිගේ අරනෝරිස් සිල්වා මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මෙතොදිස්ත විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
මෙතොදිස්ත සභාව |
|
පාසල රජයට පවරාගත් දිනය |
1909 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කුඩා පොල්අතු ශාලාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
හේවා අලංකාරගේ අදිරියන් ය. |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1896 |